Author: Dhanushka
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කළ යුතු වනවා. මේ අනුව නොවැම්බර් 14 වන දා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් මහජන ඡන්දයෙන් තේරී පත් වන මන්ත්‍රීවරුන් 106 ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ක් වනු ඇති. පාර්ලිමේන්තුව ආරම්භ වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමට හැකියාව පවතිනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල හෙට වනවිට ඉවත් කළ යුතු බවයි. මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරට නිරික්ෂකයින් මෙන්ම යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් සහභාගි වනු ඇති.
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එලෙස සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ටේරලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින්. පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 35,907ක් මෙරටට පැමිණ තිබෙනවා.
එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවයි අප කළ විමසීමේදී එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවද, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල, නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් ලබා දී ඇති බව ද සඳහන්.
ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා හි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ඊශ්‍රායලය එම ප්‍රහාර ඊයේ එල්ල කර ඇති බවයි. මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 43,603 ක් මෙන්ම ලෙබනනයේ 3,189 ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම, එම ප්‍රහාර හමුවේ ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන්.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබෙනවා. අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නව රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය සහ රාජ්‍ය අංශයට නවීන තාක්ෂණය මුසු කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ ඇති හැකියාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා වන වත්මන් අභියෝග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.
රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ, 2025 අධ්‍යයන වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහායි.
රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් විසින් ගොනු කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා. තමන්ව ඇප මත මුදා හරිණ ලෙස ඉල්ලා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා. සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දුන් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය අවධාරණය කරන්නේ. මෙම සිදුවීමත් සමග කාන්තාරය හිමෙන් වැඩී ගොස් ඇති ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.
අද දිනයේදී උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222