
සටන් විරාම ගිවිසුම බිඳවැටීමෙන් පසු මැදපෙරදිග කලාපය පුරා දැඩි යුදකාමී වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා. ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් නව නාවික අවහිරතාවක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉරාන යාත්‍රා අවහිර කිරීමට සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකානු නාවික හමුදා සන්නද්ධ නෞකා යොදවා තිබෙනවා. අමෙරිකානු මධ්‍යම බලඇණිය පවසන්නේ හොමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා යුද නැව් 21 ක් පමණ ස්ථානගත කර ඇති බවයි. ඉරානයට සම්බන්ධ සීමාවන් අවහිර කරන අතර, ඕමාන් මුහුදු තීරය ඔස්සේ ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයීම හේතුවෙන් අමෙරිකානු නාවික හමුදාව දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. ඉරානයේ බම්පූර් යුද කඳවුරේ සෙබළුන් රැඳී සිටි ස්ථානයක් ඉලක්ක කර අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඉරාන පුවත් සේවය තහවුරු කරන තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී ඉරානයේ කර්මාන්තශාලා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර ව්‍යාප්ත කරන බවයි.














