ගල්නෑවේ ගෙවත්තක නිධන් සොයා යාගහෝම පවත්වමින් අනවසර කැණීමක් සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසියම් පිරිසක් ප්රදේශයේ ගෙවත්තක අනවසර කැණීමක් සිදුකරන බවට ගල්නෑව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් කපුමහතකු විසින් සිදුකළ යාගහෝම මැද සැකකරුවන් අදාළ ගෙවත්තේ ස්ථානයක අනවසර කැණීම සිදුකරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් එම කැණීම සිදු කිරීමට යොදාගත් කැනීම් උපකරණ රැසක් ද පූජා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගල්නෑව පොලිසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනිම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් සහ හිමිනමක් හසලක, අඹගහපැලැස්ස ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හසලක පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර හිමිනම වයස අවුරුදු 24ක් පමණ වන ගල්වඩුගොඩ ප්රදේශයේ වැඩ වාසය කරන හිමිනමක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 36ත් 64ත් අතඑ වයස්වල පසුවන සෙවනගල සහ අඹගහපැලැස්ස යන ප්රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.