කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව පවසනවා.
අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදියේ පසු වූවා.
අපවත් වී වදාළ දොඩම්පහල චන්දසිරි මහනායක හිමියෝ 2021 ජූලි මස 20 වන දින අමරපුර මහා නිකායේ මහනායක ධුරයට පත්වූවා.
ඒ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ පදවිය සඳහායි.
මිසිනෝනා උපාසිකා මාතාව සහ සරනේරිස් සිල්වා මහතාට දාව 1939 දෙසැම්බර් මස 20 වන දින මාතර දොඩම්පහල ප්‍රදේශයේදී උපත ලද මේ පින්වත් කුලකුමරු 1950 නොවැම්බර් 25 වන දින කුඩාවැල්ල වාලුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යා විශාරද පණ්ඩිත මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් පැවැදි දිවියට ඇතුළත් විය.
මූලික අධ්‍යාපනය මාතර වීරබා පිරිවෙනෙන් ලද උන් වහන්සේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය ලැබුවා.
1962 ජුනි මස 17 වන දින උපසම්පදාව ලද මහනාහිමියෝ කුඩාවැල්ල වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව මෙරට විහිරි ඇති ගෝතම තපෝවනය නම් භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී.