විවෘත වෙළඳපල ක්රමය යටතේ සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුල බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති නමුත්, මහ බැංකුව මුදල් අච්චු ගැසීම අඛණ්ඩව සිදු කරමින් සිටී.
නොවැ. 08 දින රු. බිලියන 10 ක් ද, නොවැ. 07 දින රු. බි. 15 ක් ද, නොවැ. 06 දින රු. බි. 20 ක් ද මහ බැංකුව විසින් පද්ධතියට පොම්ප කර ඇත. මෙය ඔක්. 15 න් පසුව දිනකට පොම්ප කරන ලද අඩුම මුදල් ප්රමාණයයි. ඔක්තෝබර් 29, 30 දිනවල අන්තර් බැංකු හුවමාරුවෙන් පසුව මහ බැංකුව වෙත ලැබුණු ප්රමාණය රු. බිලියන 200 ඉක්මවා ගිය අතර, මේ වන විට එය නැවත රු. බිලියන 165 – 180 ප්රමාණය රඳවා ගැනීමට පසුගිය සතියේ මහ බැංකුව කටයුතු කර ඇත.
අඩු පොලියට බැංකු පද්ධතියට මුදල් පොම්ප කිරීම හෙවත් සල්ලි අච්චු ගැසීම අඛණ්ඩව සිදු වන අතර, එය රනිල් වික්රමසිංහ රජය යටතේ පැවති රිද්මය හා ප්රමාණයට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී. අඩු පොලියට එක්රැය (overnight action) වෙන්දේසි ක්රමය යටතේ නොවැ. 1, 4, 5, 6, 7 සහ 8 දිනවල පිළිවෙලින් රු. බිලියන 50, 20, 35, 20, 15 සහ 10 ලෙස අඩු පොලී අරමුදල් මහ බැංකුව නිදහස් කර ඇත.