බංග්ලාදේශයට එරෙහි තුන් වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 74 ක පහසු ජයක් හිමි කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. තරග 2 ට 1 ක් ලෙස තරගාවලියේ ජය හිමි වුණේ බංග්ලාදේශ කණ්ඩායමටයි.
කෙසේ වෙතත් මෙම තරගයද පාකිස්තානය පරාජය වුයේ නම්, ඔවුන්ට වසර 18 ක දෙරටේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමට සිදු වනු ඇති. මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා. එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 178 ක් රැස් කර ගත්තා. ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ සහිබ්සාඩා ෆර්හාන් පන්දු 41 කදී ලකුණු 63 ක් රැස් කළා. හසන් නවාස් ලකුණු 33 ක්, මොහොමඩ් නවාස් ලකුණු 27 ක් සහ සයිම් අයුබ් ලකුණු 21 ක් රැස්කිරීමට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහ්මඩ් සහ නසුන් අහ්මඩ් කඩුළු තුන බැගින් දවා ගනු ලැබුවා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි. බංග්ලාදේශ ඉනිමේ කඩුළු 7 ක් ලකුණු 41 ක් තුළ දවා ගැනීමට පාකිස්තානය සමත් වුණා. එහිදී අංක 8 පිතිකරු මොහොමඩ් සයිෆුඩීන් නොදැවී රැස් කළ ලකුණු 35 සහ අවසන් පිතිකරුවන්ගේ ඉනිම් හේතුවෙන් බංග්ලාදේශය කණ්ඩායමට ලකුණු 100 සීමාව අසීරුවෙන් පසු කර යෑමට හැකි වුණා. පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා ලකුණු විස්සකට කඩුළු තුනක්, ෆහීම් අෂ්රෆ් ලකුණු දහ තුනකට කඩුළු දෙකක්, සහ මොහොමඩ් නවාස් ලකුණු හතරකට කඩුළු දෙකක් වශයෙන් දවා ගනිමින් පන්දු යැවීමේදී දක්ෂතා දක්වනු ලැබුවා.