වවුනියාව විශ්වවිද්‍යාලයේ පසුගිය (31)වැනිදා රාත්‍රියේ පැවති සාදයක් අතරතුර විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවරසන්කුලම පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පලමු වසර ඉගෙනුම ලැබූ අංක 09 ජයසිරිපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ටී.එම්.එන්.එස් වික්‍රමසිංහ නැමැති 23 හැවිරිදි සිසුවෙකි.
පසුගිය 31 වැනිදා රාත්‍රියේ වවුනියාව විශ්වවිද්‍යාලය තුළ පැවැත්වූ සාදයක් අතරතුර ඇතිවූ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා පූවරසන්කුලම් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව 01 වැනිදා දින 09.30ට පමණ එම සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේදී මිය ගොස් තිබෙනවා.
ඒ අනුව සිසුවාගේ දේහය පුවරසන්කුලම රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය වවුනියාව දිස්ත්‍රික් මූලික රෝහලට රැගෙන ඒමට නියමිත තිබුණා.
ඒ පිළිබඳ කළ විමසීමේදී වවුනියාව සහ පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරුන් මරණයට හේතුව අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් මෙම සිද්ධිය සිදු වී ඇත්තේ සිසුන් විසින් සංවිධානය කරන ලද සාදයක් අතරතුර බවත් මෙම සිසුවා 2025 වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ නවක සිසුවෙකු හේතුවෙන් සිදු කළ නවක වදයේ ප්‍රතිපලයක් ලෙස මෙම මරණය සිදුව ඇතිද යන්න පිළිබඳ පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම සිසුවා අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලේ අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා 2025 වර්ෂයේ වවිනියාව විශ්වවිද්‍යාලයට ඇතුලත් ව තිබෙනවා.
වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම සිසුවා පවුලේ බාලයා විය.
මව රජයේ පාසලක ගුරුවරියක් වන අතර පියා රජයේ රැකියාවක් සිදු කර නොමැති බවටද වාර්තා වනවා.













