මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද(09) දින අලුයම 1ට පමණ ගින්නක් හටගෙන එම අංශය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න නිමි තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී ගිය නිසා ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
පැතිර යමින් තිබූ ගින්න එම වතු යායේ වතු කම්කරුවන් එක්ව තේ කර්මාන්ත ශාලාවේ සෙසු අංශ වෙත පැතිරීම පාලනය කිරීමෙන් පසුව හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
එම වතු යායේ වතු කම්කරුවන් චෝදනා කර සිටින්නේ වතු පාලන අධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න තබන්නට ඇති බවට සැක කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන් අද(09) දින වැඩ වර්ජනයකද නිරතව තිබෙනවා.
වතු කම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් එම වතු යායේ පාලන අධිකාරියේ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමකට එම නිලධාරියා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
තේ කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගැනීම හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවේ විදුලි බලයද විසන්ධි කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
ගින්න පිළිබඳ නල්ලතන්නිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.