2025 වසරේ මැයි මස මැද සිට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ දක්වා කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 85 ක් මතුකරගෙන ඇති අතර මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව රටේ තුන්වැනි තැනට මෙම සමූහ සුසානය පැමිණ ඇත.
මීට ඉහත තුන්වැනියට විශාල සමූහ මිනීවල ලෙස හඳුනාගෙන තිබුනේ 2023 වසරේ දී මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි.
දෙවැනි අදියරේ කැනිම් කටයුතු සිදු කළ 18 වැනි දිනය වු ජුලි 23 වැනි බදාදා හවස් යාමයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ චෙම්මනි සමූහ සුසාන සංකිර්ණයෙන් අළුතින් මිනිස් හිස් කබල් පහක් මතු කරගත් බවයි.
අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන සිත්තුපාත්ති සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් ඇට සැකිලි 85 අතුරින් ඇටසැකිලි 67 ක් ජුලි 23 වැනිදා වන විට ගොඩ ගෙන ඇති බව නීතිඥවරයා වැඩි දුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
2013 වසරේ දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155 ක් ගොඩගන්නා ලද අතර එය ශ්‍රී ලංකාවෙන් හමුවු දෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ සිව්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිලිගැනෙන්නේ එම වසරේදීම මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි.