ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පසුගිය 22 වනදා රාත්‍රී සොරකම් කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුළෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන් පවසනවා.
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැනීම් සිදු කළ අවස්ථාවේ එහි තිබී හමු වූ බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇති බවත් තඹ ලෝහයෙන් සකස් කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බවත් උන් වහන්සේ කියා සිටියා.
කෞතුකාගාරයේ පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැග ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළු වී එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති බවත් මාස කිහිපයක සිට කෞතුකාගාරයේ සීසීටීවී කැමරා ද අක්‍රීයව තිබූ බවත් නායක හිමිපාණන් සඳහන් කළා.
කෞතුකාගාරයේ පිටුපස තිබූ කැමරාවක රාත්‍රී 1ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ස්කූටියකින් ගමන් කරන ආකාරය සටහන්ව ඇති බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය විමර්ශ කටයුතු ආරම්භ කර තිබෙනවා.
රජමහා විහාරස්ථානය දෙපස ගම්මානවල දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිස් සිටින බැවින් නිරන්තරයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ සොරකම් රැසක් සිදුවන බවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මෙම සොරකම්වලට සම්බන්ධ බවත් විහාරාධිපති හිමියන් පවසනවා.
මහයංගණය රජමහා විහාරස්ථානයේ පොලිස් මුරකුටියක් හා යුද හමුදා කඳවුරක් තිබුණද එම නිලධාරීන්ගෙන් රජමහා විහාරස්ථානයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් එම ආයතනයන්හි අවම ප්‍රමාණයක සිටීම හේතුවෙන් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සපුරාලීමට නොහැකිව ඇති බවත් වගකිවයුතු බලධාරීන්ගේ මැදිහත්වීමකින් විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පවසනවා.
රටේ කිසියම් ප්‍රදේශයකදී කිලෝ 40ක් පමණ බරැති තඹ ලෝහයෙන් සකස් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අලෙවි කිරීමට සැරසෙන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස උන් වහන්සේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













