මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් පස් දෙනෙක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලද ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැලසුම් සකස් කරමින්, කුමන්ත්‍රණය කරමින් එම වරදට ආධාර අනුබල දෙමින් නීති විරෝධී අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් ක්‍රියා කරන ලද සැකකරුවන් පස් දෙනෙක් ඊයේ(10) දින උදෑසන දෙහිවල, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට පත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සොයාගෙන ඇති අතර මොහු 2025 ජනවාරි 19 වන දින ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධයට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු බවද පොලිසිය පවසනවා.
තවද සැකකරුවන්ගේ අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කිරීමට සූදානම් කර තිබූ යතුරු පැදියක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම යතුරු පැදියේ සවිකර තිබූ අංක තහඩුවක ලියාපදිංචි අංකය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කළ යතුරු පැදියක අංකයක් බවට අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද(11) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













