හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා.
මෙහිදී එම සභාවේ සභාපතිවරයා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කළ හැකි මුදල රුපියල් දස දහසක් බවත් එය ප්‍රමාණවත් නොවන නිසා එම මුදල වැඩි කරදෙන ලෙසට සභාවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
එහිදී එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජනබලවේගයේ අලගමුත්තු නන්දකුමාර් මහතා නගර සභාවේ ලේකම්වරියගෙන් කරුණු විමසමින් අසා සිටියේ සභාවේ මුදල් රෙගුලාසි අනුව සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩි කිරීමට පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අනුමැතියක් හෝ චක්‍රලේඛණයක් ලැබී ඇතිනම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.
මෙහිදී එම සභාවේ වැඩබලන ලේකම්වරිය සභාව හමුවේ කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල අවස්ථානුකූලව වැඩි කරන ලෙසට මධ්‍යම පලාත් පාලන කොමසාරිස්වරියගෙන් වාචික උපදෙස් ලැබී ඇති බවයි.
මෙහිදී යළිත් කරුණු දැක්වූ අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල වැඩි කර ගැනීමට පළාත් පාලන කොමසාරිස් සමග සාකච්ඡා කර ලිඛිතව ලබාගත් අවසරයක් මත සිදුකරන ලෙසටත් එසේ නොමැතිව ඒ සඳහා සභාවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු නොකරන ලෙසටයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා කියා සිටියේ චක්‍රලේඛනවලට පටහැනිව කටයුතු කිරීමට සභාවේ කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒස ඳහා අවශ්‍ය අනුමැතිය ලිඛිතව ලබාගෙන සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩිකර වැය කිරීමට හැකියාව ඇති බවයි.