හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සහ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මීට ඉහත හැටන් ප්‍රදේශයේදී සිදු කළ හදිසි වාහන පරීක්‍ෂාවකදී තාවකාලිකව තහනම් කර තිබූ වාහන 39ක් ඊයේ(25) දින යළිත් එම නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී දුර්වල වාහන නඩත්තුව, අධික ලෙස කළු දුම් පිට කිරීම ඇතුළු වාහනවල මුල් ආකෘතිය වෙනස් කරමින් අමතර කොටස් සවිකර තිබීම පිළිබඳ පෙබරවාරි මස 27 වන දින එම නිලධාරීන් විසින් සිදු කළ මෝටර් රථ පරීක්ෂාවේදී වාහන 39ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම අඩුපාඩුකම් සපුරා ඊයේ(25) දින යළිත් එම වාහන පෙන්වන ලෙසට කළ දැනුම්දීමක් මත එම වාහන හිමියන් විසින් ඊයේ (25) දින එම අඩුපාඩුකම් සපුරා ගෙන යළිත් වාහන පරීක්ෂාවකට එම නිලධාරීන්ටම යොමු කර තිබෙනවා.
මෙහිදී ඉහත පරික්‍ෂා කළ වාහන 4ක් තවදුරටත් දෝෂ සහ අඩුපාඩුකම් පවතින නිසා එම වාහන නැවතත් අලුත්වැඩියා කර ගැනීමට දින 30ක කාලයක් ලබාදුන් අතර එතෙක් එම වාහන තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම වාහනවල බලපත්‍ර තවදුරටත් මෝටර් රථ පරීක්‍ෂකවරයා භාරයේ තබාගැනීමට පියවර ගත්තා.














