
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. අද පස්වරු 6.41 ට යෙදෙන සුභ මූහුර්තියෙන් පෙරහැර වීදි සංචාරය කරනු ඇති. කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර ඊයේ පස්වරු 6.52 ට යෙදුන සුභ මූහුර්තියෙන් වීදි සංචාරය කළා. මෙවර ප්‍රථම කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා හස්තියා හට හිමි වුනා. ඉන්දි රාජා හස්තියාගේ වම් පරිවාර හස්තියා ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා හස්තියාද , දකුණු පරිවාර හස්තියා ලෙස කෝට්ටේ රාජා හස්තියාද ගමන් කරනු ලැබුවා. මෙවර පළමු රන්දෝලි පෙරහැර මේ මස 23 වන දින වීථි සංචාරය ආරම්භ වන අතර, පුරා දින 5 ක් එය පැවැත්වෙනවා. අවසාන මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනි දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින වීථි සංචාරය කිරීමට නියමිතයි.














