තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේ විටත් පැවැත්වෙනවා.
ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිටයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ.
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.
ඒ හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථාන රැසක් වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණා .
වෘත්තීය සමිති වලින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය දේශපාලන අවශ්‍යතාවයක් බවත් රජය ඉල්ලීම් දාහතක් ඉටුකර තිබියදීත් අසාධාරණව මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා තැපැල් සේවක සංගමය පවසනවා.
අඛණ්ඩ වර්ජන තිබුණත් ඉදිරියේදී තැපෑල අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට තම සංගමය ක්‍රියා කරන බවයි ඔවුන් සඳහන් කළේ.
දිවයින පුරා සියලු උප තැපැල් කාර්යාල එම වර්ජනයට සහාය නොදෙන බවත් තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
මේ අතර අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් වී එෆ් එම් සිද්ධමුල්ල වැඩසටහනට අදහස් දක්වමින් තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම් කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ සිය ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා විෂයභාර අමාත්‍යවරයා අවස්ථාවක් ලබා දෙන තෙක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.
වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට හිතකර තීන්දු තීරණ රැසක් ගෙන තිබියදී මෙවන් වර්ජන සිදු කිරීමට අසාධාරණ බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා සදහන් කලේ .