හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව සාම ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පිළිගෙන තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායල සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබුණා.
ඒ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් අනතුරුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.
මහලේකම්වරයා පවසන්නේ , සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහතික කරන මෙම ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බවයි.
ගිවිසුමේ කොන්දේසිවලට දෙපාර්ශවයම පූර්ණ වශයෙන් අනුකූල විය යුතු බවටත්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම ගිවිසුම සදාකාලික සටන් විරාමයක් සඳහාත්, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් විසඳුමක් ලබාගැනීම සඳහාත් මහඟු අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි මහලේකම්වරයා සදහන් කලේ.
මේ අතර ගාසා සාම සැලැස්මේ පළමු අදියර සම්බන්ධයෙන් එකඟතාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ගාසා තීරයේ සංචාරය කිරීමට අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ගාසා තිරයේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සඳහායි.
ගාසා තීරයට යාමට අදහස් කරන්නේද යනුවෙන් ට්‍රම්ප්ගෙන් වාර්තාකරුවෙකු විමසූ විට අදාළ පිළිතුර ලබා දී තිබුණා.
හමාස් සංවිධානය සිදු කල ඊශ්‍රායල ප්‍රහාරයේ දෙවන සංවත්සරයට දිනකට පසුව මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයක් .
ඊජිප්තුවේ පැවති වක්‍ර සාකච්ඡා මගින් ට්‍රම්ප්ගේ කරුණු 20 යෝජනාවේ මූලික අදියර පිළිබඳව එකඟතාවකට පැමිණ තිබුණා.