මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත්, දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදන යන්ත්‍රයක් තිබුණද ඉන්ධන ලබානොදීම හමුවේ හැටන් දුම්රිය ස්ථානය අඳුරේ පවතින බවත් එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ මගීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන් බිමන් යන දුම්රිය ස්ථානයක් ලෙස හැටන් දුම්රිය ස්ථානය හඳුන්වන අතර මේ දිනවල වරින්වර බිඳවැටෙන විදුලි බලයත් සමග හැටන් දුම්රිය ස්ථානය රාත්‍රී කාලයේ අඳුරේ පැවැතීම සම්බන්ධයෙන් මගීන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත අප දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ හැටන් දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්‍රයක් ඇති බවයි.
එම විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ඉන්ධන දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකිරීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු කියා සිටියා.
විදුලි උත්පාදක යන්ත්‍රයේ ඉන්ධන ටැංකිය තුළ 20%ට වැඩි ඉන්ධන ප්‍රතිශත්යක් තිබේ නම් පමණක් විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍යතාවය පරිදි ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය ඉංජිනේරු අංශය විසින් උපදෙස් ලබාදී ඇති බවත්, මේ වන විට එම විදුලි උත්පාදක යන්ත්‍රයේ 17%ක ඉන්ධන ප්‍රමාණයක් ඇති නිසා විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ඉකුත් අප්‍රේල් මාසයේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 50ක් ඉල්ලා ලිපියක් යොමු කළ බවත් එයට මෙතෙක් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර නොලැබුණු බවත් ඩීසල් ඉන්ධන ලීටර් 50ක් තමන්ට ලැබෙන්නේ නම් එම ඉන්ධන ප්‍රමාණය මාස පහකට පමණ ප්‍රමාණවත් බවත් හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.