සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක් ජීව පතරොම් හා මුදල් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙසැම්බර් මස 9 වන දින රාත්‍රී කාලයේදී මරදාන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුළත් කරගෙන ගනුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 32ක් පමණ වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුකේ වන අතර සැකකාරිය වයස අවුරුදු 25ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම් හලක කාමරය පරීක්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුළ සඟවා තිබූ මිලිමීටර් 9 ජීව පතරොම් 15ක්ද සැකකරුගේ ප්‍රකාශය මත කුට්ටිගල, තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර එම නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැකකරන රුපියල් 1,534,000 විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු සහ සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණ වී ඇති අතර මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













