දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ආපදා තත්ත්වය හමුවේ මෙරට දහසකට අධික ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබෙන අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී සඳහන් කළා.
අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු එම ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසුවා.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් රැස් කිරීම මේ වන විට සිදු කෙරෙන බවත්, එම ස්ථානවලට අදාළ තාක්ෂණික ඇගයීම් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා මෙහිදී සඳහන් කළා.
එම කටයුතු වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම, ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා පැවසුවා.
එමෙන්ම, හානි වූ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම වෙනුවෙන් මේ වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අරමුදලට විශාල වශයෙන් දානපතින්ගේ මූල්‍යමය පරිත්‍යාග ලැබෙමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
රැස් වූ සභාව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන සර්ව ආගමික කමිටුව ලෙස අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයයොමු වූ අතර ඒ අනුව, ඉදිකිරීම්වල ප්‍රගතිය නිරන්තරයෙන් මෙම කමිටුව වෙත ඉදිරිපත් කිරීමටත්, විනිවිදභාවයෙන් යුතුව අරමුදල සඳහා විදේශ ආධාර, විදේශ සංවිධාන, බෞද්ධ සංවිධාන සහ ආගමික සංවිධානවල ආධාර ලබා ගැනීමේ කටයුතු කමිටුවට භාර කිරීමටත් සාකච්ඡා කෙරුණා.













