ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් කටාන දෙමංහන්දිය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග හා උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමට සමගාමීව අද(17) දහවල් කාලයේ සිදු කරන ලද වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ ගිනි අවි හතරක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 51ක් සහ 58ක් වන දෙදෙනෙක් බවත් ඔවුන් කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියා සිටියා.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී 56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටීකටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිත කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ සොයාගෙන තිබෙනවා.
අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කටාන පොලිසිය මගින් සිදු කරනු ලබනවා.