මෙරට ගම්වල අහිංසක ජනතා වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශවලට රැවැටුණු බවත් වත්මන් ආණ්ඩුවට මෙතෙක් බේබි සබන් කැටයක මිලවත් අඩු කරන්න බැරි වී ඇති බවත් වැරදුන රට නැවත නිවැරදි කරන්න ගම්වල ජනතාව මේවන විට පෙල ගැසෙමින් සිටින බවද මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා පවසනවා.
පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳ සහ වත්මන් රජයේ තීන්දු තීරණ පිළිබඳ මාධ්‍ය වෙත අද(26) මැදවච්චිය නගරයේදී අදහස් දක්වමින් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා එලෙස කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා.
“මේවන විට දුන්න පොරොන්දු ඉටුකර ගන්න බැරුව ආණ්ඩුව දඟලනවා. කොටින්ම කිවුවොත් මැදවච්චිය ප්‍රාදේශිය සභාව ගත්තාම නගරයේ වෙළඳ ප්‍රජාවගෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද අරන් තියෙන්නේ වෙළඳ සංකීර්ණයේ කඩ කුලී අඩු කරන්නම් කියන පදනම මත.
ඒ යෝජනා ඉටුකරගන්න බැරුව දැන් අසරණ වෙලා සභාවේ දගලනවා.
ඒ වගේම මේ ආණ්ඩුව එදා බලයට ආවේ බඩු මිල අඩු කරනවා. තෙල් ටික අඩු කරනවා, ජනතාවට සහන දෙනවා කියන කාරනා මුල් කර ගනිමින්.
නමුත් මේ ආණ්ඩුවට බැරි වුණා රුපියල් 45ට 55 ට තිබුණ බේබි සබන් කැටේ මිල 145 ක් වෙලා තියෙද්දි ඒක නැවත අඩුම රුපියල් 100ටවත් අඩු කරන්න.
අපි ආණ්ඩුවේ අයට කඩේකට ගිහින් බලන්න කියනවා හාල් ටිකේ, ඉන්ධනවල මිල ගණන් ගැන.
මේ රටේ මිනිස්සු දැඩි මුල්‍යමය අර්බුදවල ඉන්නේ. බැංකු ලෝන් දදා බත් කන රටක් මේක. ඉඩකඩම් උකස් තියනවා, හරි හම්බ කරගත්ත දේවල් උකස් කරනවා, ව්‍යාපාර වැටෙනවා.
කඩවල වෙළඳාම් නැතිව මුඳලාලිලා හූල්ලනවා. බඩු ගන්න යන තාත්තලා තමන්ගේ දරුවන්ට මස් කෑල්ලක් මාලු කෑල්ලක් අලුතින් ඇදුමක්, පොතක් පෑනක් දීගන්න බැරුව මැරි මැරි ජීවත් වෙනවා.
තරුණ තරුණියන් යතුරු පැදියක් තමන් සිහින මැවූ වාහනයක් ගන්න බැරුව හූල්ලනවා.
අපි ආණ්ඩුවට අභියෝග කරනවා දෙන්නම් කියපු මිලට හාල් කිලෝව රුපියල් 80 -90 ත් අතරට, ප්‍රෙට්ට්‍රල් ලීටරය රුපියල් 180 – 200 ටවත් අඩුම ගෙනත් පෙන්වන්න කියලා.
පාසල් උපකරණවල මිලගනම් අඩු කරලා මෙරට දුවා දරුවන්ට ලෝකය දිනන්න අධ්‍යාපනයට සහයෝගය දෙන්න කියලා. නමුත් ආණ්ඩුවට ඒ කිසි දෙයක් කරගන්න බෑ.
දැන් ඒවා ජනතාවගෙන් අමතක කරන්න ආණ්ඩුව හිරකූඩු ආයුධයක් කරගෙන දඟලනවා.
රටට වැඩකල නායකයින් හිරකරලා නිවුස් හදලා තමන්ගේ අඩු පහඩු වසා ගන්න ආණ්ඩුව උත්සහ දරනවා.
මේ ආණ්ඩුව දැන්නම ඉක්මනටම ගෙදර යන්න සූදානම් වෙලා ඉන්නේ කියලා දැනෙනවා. මොකද අපිටත් විශ්වයෙන් පණිවිඩ එනවා. ඔය ආණ්ඩුවේ අයට වගේ.
මේ ආණ්ඩුව මාධ්‍යට වාරණ දාන්න මාධ්‍යවේදීන් බියකරන්න, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට බොරු නඩු පවරා හිරකරන්න උපරිම මහන්සි වෙනවා.
මොකද මාධ්‍ය විසින් සියල්ල හෙළිකරන නිසා. අපි දකිනවා එක්තරා රූපවාහිනී ආයතනයකටත්, තවත් මුද්‍රිත ආයතනවලට ආණ්ඩුවේ ඇතැමි පිරිස් වක්‍රව නීති දාන්න උත්සහ කරනවා.
ග්‍රාමීය ගැටලු මුල්කරගනිමින් විවිධ පුවත් වාර්ථාකරන්න එපා කියලා තර්ජනය නොකර ප්‍රධාන කර්තෘවරුන්ගෙන් ආණ්ඩුවේ විවිධ පාර්ශව ඉල්ලීම් කරලත් තියෙනවා කියලත් අපිට දැනගන්න ලැබුණා.
මේ රට මේ කොහේටද යන්නේ. හොඳට මතක තියාගන්න මාධ්‍ය කරන්නේ විපක්ෂයක කාර්ය බාරය. මාධ්‍ය නැත්තම් ආණ්ඩු මාරු වෙන්නෙත් නෑ.”