රුපියල් කෝටි පනහක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරීමට පැමිනි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා නුවරඑළිය ලබකැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පොළක රැඳී සිටින බවට නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මැණික් ගල මිලදී ගැනීමට සැකකරුවන් හා ගනුදෙනු කතා කිරීමේදී රුපියල් කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරීම හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදලකට ලබාදීමට සැකකරුවන් එකඟවී තිබෙනවා.
මඩවල සහ වත්තෙගම ප්‍රදේශයේ අවුරුදු හතළිහත් පනහත් වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් මැණික් කල ව්‍යාජ එකක්ද නැතිනම් හොඳ වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබාගැනීමටද නුවරඑළිය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මැණික් ගල් විකිණීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නිසි අවසර පත්‍රයක් ලබාගත යුතු අතර සැකකරුවන් සතුව නොතිබූ නිසා සැකකරුවන් තිදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපිත් කරන බවයි නුවරඑළිය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලදාරීන් කියා සිටියේ.
නුවරඑළිය පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.