ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම සභාපතිත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින(02) පුරා කොළඹ කෝට්යාර්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම – 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), 2024 ඔක්තෝබර් මස 16 වන දින සාර්ථකව නිමාවට පත් විය.

මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපීය නාවික හමුදා ඇතුළු ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන, රාජ්‍යයන් හා සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්, නීතිවේදීන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණික විශේෂඥයන් පිරිසක් සහභාගී වූහ. මෙවර රැස්වීමේදී ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම, මුහුදේ සිදුවන හදිසි ආපදා හා සිදුවීම් කළමනාකරණය, සමුද්‍රීය නිරීක්ෂණ සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය වෙළඳාම සඳහා වඩාත් ආරක්‍ෂිත සාගර කලාපයක් පවත්වාගැනීම පිලිබඳ පාර්ශවකරුවන් අතර පූර්ණ සැසි සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කෙරිණි.

එහිදී, විශේෂයෙන්  මෙම තොරතුරු හුවමාරු කරගැනීමේ පද්ධතියේ අනාගත හිමිකාරිත්වය සහ උපායමාර්ගික ප්‍රමුඛතා, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා කලාපීය සහයෝගීතාව සහ බාහිර පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය වැනි වැදගත් මාතෘකා පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම, ජාත්‍යන්තර සමුද්‍රීය සිදුවීම් පිලිබඳ මෙහෙයුම් තොරතුරු හුවමාරු කරගැනීමේදී  මතුවන නීතිමය අභියෝග, මෙම පද්ධතියේ අනාගත සංවර්ධනය හා ඒකාබද්ධ කිරීම, අනාගත නවෝත්පාදන, තොරතුරු හුවමාරු කරගැනීමේ සම්මත ක්‍රියා පිළිවෙත, සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණය සහ පුහුණු ආධාරක  වැනි පුළුල් පරාසයක විෂයයන් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

WhatsApp Group

Skip to content