කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට වෙන් කර ඇති බවත්, මෙවර විමධ්‍යගත අරමුදලින් ඉටු කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 84 ක් ද දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී ඇති බවත් එම ව්‍යාපෘති ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව මුලික කරගත් ජාතික ජනබලවේගය රජයේ “පුනරුද යුගයක ඇරඹුම” ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පුනරුදයට මඟ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පළමු වැඩ ඇරඹුම සනිටුහන් කරමින් රුපියල් මිලියන 21 ක වියදමකින් කුඩා වස්කඩුව සමගිපුර (නයිදුව) ප්‍රධාන මාර්ගය කාපට් ඇතිරීම වැඩ ආරම්භ කරන උත්සව අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ පුර්ණ අධීක්ෂණය යටතේ දීප ව්‍යාප්තව මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙල අද දින ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙරට බදු ගෙවන ජනතාව විසින් භාණ්ඩාගාරයට යවන සෑම බදු මුදලක් ම නැවත පෙරලා ජනතා සේවයට යොමු කිරීම තම රජයේ ඒකායන බලාපොරොත්තුව බව අවධාරණය කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරයට යවන අන්තිම රුපියල දක්වා පිළිවෙලකට, සැලසුමකට, කාර්යක්ෂමව, දුෂණයෙන් තොරව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වියදම් කරන බව පැවසී ය. ඉදිරි කාලයේ දී දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව යන ත්‍රිත්වයේ ම ඒකාබද්ධතාවයෙන් මෙරට සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් ජනතාව විසින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන ජනතා සංවර්ධන ඉල්ලීම් ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර තුන තුළ දී ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසී ය.
ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා එකම ප්‍රතිපත්තියක හිඳ වැඩ කටයුතු කිරීමේ දී සංවර්ධන කටයුතු සිදු කිරීමට පහසු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී. ගිලිහෙමින් යන බලයට තිබෙන කෑදර කමට එහෙන් මෙහෙන් පිරිස් සම්බන්ධකර ගනිමින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා වල බලය ගොඩනගා ගැනීමට විපක්ෂ කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් නමුත් බලය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවය ඔවුන් තේරුම් ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. එමෙන් ම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බලය අල්ලා ගැනීම පමණක් බවත් එයින් අගතියක් වන්නේ මෙරට සමාන්‍ය ජනතාවට බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
ශ්‍රී ලංකාව තුළ වේගවත් සංවර්ධනයක් අත්කර ගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා එම සංවර්ධනය සිදු කිරීමේ දී දිවා රෑ නොතකා එකම අධිෂ්ඨානයකින්, එකම අරමුණකින් සියලු දෙනා කටයුතු කළ යුතු බව ද මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාවට පූජ්‍ය පිළියන්දල සීලරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණ ප්‍රසාද් චන්ද්‍රෙස්කර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමිත් ලසන්ත, කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ රණවක, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ලසිත ලියනගේ මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ගම්වාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.