හැටන් කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරීම සඳහා අධික මුදලක් අය කිරීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී ඇත බව එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් 28 වන දින මාධ්‍ය ප්‍රකාශයක් පවත්වමින් පැවසීය.
කොටගල ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරයේ එක් දේහයක් ආදාහනය කිරීම සඳහා ගෑස් කිලෝ 46.9ක් වැය වන නිසා 2019 වසරේ සිට පිට පළාත්වලින් රැගෙන එන දේහයක් ආදාහනය කිරීම සඳහා රුපියල් 25,000ක්ද කොටගල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේ දේහයක් ආදාහනය කිරීමට රුපියල් 24000ක මුදලක්ද අය කරන බවත් එම මුදල රුපියල් 15,000 දක්වා අඩු කරදෙන ලෙසයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් ඉල්ලා සිටින්නේ.
නෝර්වුඩ්, ගිනිගත්හේන, තලවකැලේ යන ප්‍රාදේශීය සභාවල සහ නුවරඑළිය මහ නගර සභාවේ ආදාහනාගාරවල එක් දේහයක් ආදාහනය කිරීම සඳහා රුපියල් 15,000ක මුදලක් පමණක් අය කරන බවද එම මුදලට සමාන මුදලක් කොටගල ආදාහනාගාරයෙන්ද අය කිරීමට කටයුතු කරලා ලෙයසි මාධ්‍ය හමුවට එක් වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් කියා සිටියා.
එම සභිකයින් ආදාහනාගාරය වෙත ගොස් දේහයන් කිහිපයක් ආදාහනය කිරීම සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් පසු එක් දේහයක් ආදාහනය කිරීම සඳහා ගෑස් කිලෝ 27ක් පමණක් වැය වන බවත්, ඒ අනුව දේහයක් ආදාහනය කිරීමට දැනට අය කරන මුදල විශාල ලෙස අඩු කළ හැකි බවයි එම සභිකයින් මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
තවද දේහයක් ආදාහනය කිරීමට රුපියල් 25000ක මුදලක් අය කළද එම ආදාහනාගාරය වෙත පැමිණිණෙන පිරිසට වැසිකිළි ඇතුළු කිසිදු පහසුකම් සලසා නොමැති බවත් එම ආදාහනාගාරවල දැඩි ලෙස අපිරිසිදු වී ඇති බවත් එම සභිකයින් වැඩිදුරටත් කියා සිටියා.
අප මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් මහතාගෙන් කළ විසමසුමකට ඔහු කියා සිටියේ කොටගල ආදාහනාගාරය විදුලියෙන් සහ ගෑස් මගින් ක්‍රියා කරන බවත් දේහයක් ආදාහනය කිරීමේදී ගෑස්වලට අමතරව විදුලියද වැය වන බවයි.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් එම ආදාහනාගාරය වෙත ගොස් ගෑස් පිළිබඳ පමණක් විමර්ශනය කර ඇති බවත් එම ආදාහනාගාරය දේහයන් 100ක් ආදාහනය කිරීමෙන් පසු එය අලුත්වැඩියා කිරීමට රුපියල් 475000ක පමණ මුදලක් වැය වන නිසා එම මුදල අය කිරීමට සභාව තීරණය කර ඇති බවද සභාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් එම ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරීමට දැනට අය කරන මුදල් ඉදිරියේදී අඩු කිරීමට 2026වසරේ අයවැය ඇස්තමේන්තුවට ඇතුළත් කරන බවද කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ නායක ජී. රාජේන්ද්‍රන්, සමගි ජන බගවේගයේ සභාකි(විපක්ෂ නායක) විශ්වනාදන් පුෂ්පා, එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති(ජාතික ජන බලවේගයේ) යාගුල මේරි මහත්මියද සහභාගි විය.





 


 







 
								