දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ(12) රාත්‍රීයේ පැවැත්වුණා.

එම තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රි ලංකා ආරම්භක පිතිකාරණි හර්ෂිතා සමරවික්‍රම සහ මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තිරණය කරනු ලැබුවා.

ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු අටක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Sobhana Mostary ලකුණු 29ක් ලබාගත් අතර නායක Nigar Sultana ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූවා.

මීට අමතරව ලකුණු 20 සීමාවට පැමිණීමට සමත් වූයේ එක් ක්‍රීඩිකාවක් පමණයි.

ඒ ආරම්භක පිතිකාරිණී Shamima Sultanaයි.

ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක්.

සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 15 සීමාව පසුකර යාමට සමත් වූයේ නෑ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර චමරි අතපත්තු කඩුලු දෙකක්ද ඉනෝකා රණවීර එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.2කදී කඩුලු තුනක් පමණක් දැවි ලකුනු 129ක් ලබාගැනිමට සමත් වූවා.

පන්දුවට පහරදීමේදී ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම නොදැවී පන්දු 50කදී ලකුණු 69ක් ලබාගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර අටක් ඇතුළත්.

ඇයට අගනා සහයෝගයක් ලබාදුන් මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වා පන්දු 38කදී ලකුණු 41ක් ලබාගත්තේ හතරේ පහර දෙකක් සමගින්.

හර්ෂිතා සහ නිලක්ෂි එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවා.

නායිකා චමරි අතපත්තුගේ ඉනිම ලකුණු 15කට සීමා වූ අතර විශ්මි ගුණරත්නට ලබාගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණක් වන අතර අනුෂ්කා සංජීවනීට ලකුණු ලබාගැනිමට අවස්ථාවක් ලැබුණේ නෑ.

පන්දු යැවීමේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Marufa Akter ලකුනු 23කට කඩුලු තුනක් දවාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට කඩුලු ලබාගැනීමට නොහැකි වූවා.

ඒ අනුව පන්දුවාර 18.2කදි කඩුලු තුනක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර සිටිනවා.

තරගයේ වීරයා ලෙසින් හර්ෂිතා සමරවික්‍රම තේරී පත් වූවා.

තරගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි Newlands ක්‍රීඩාංගනයේදී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එළැඹෙන 16 වැනිදා පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content