මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ලබන අඟහරුවාදා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු ඊයේ කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා.

එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක්.

හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි.

සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත බව විදෙස් මාධ්‍යය පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා.

එම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කලේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය ද එය තහවුරු කළා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව සඳහන්.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.

මෙරට අධිකරණයෙන් ලබාදුන් නියෝග අනුව හරක් කටා නමැත්තාට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content