වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද(02) තේරී පත්ව තිබෙනවා.
දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදු කර තිබෙනවා.
පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ එම්.එච්. රසික් ප්‍රියංකර මහතාගේ නමද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චින්තක දර්ශන හේවාපතිරණ මහතාගේ නමද යෝජනා වී තිබෙනවා.
ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඡන්ද 22ක් ලබාගෙන ඇති අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රසික් ප්‍රියංකර මහතාට හිමිව ඇත්තේ ඡන්ද 21ක් පමණි.
ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇති අතර වැලිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මුළු සභිකයන් සංඛ්‍යාව 45ක්.
පළාත් පාලන ඡන්දයෙන් ජාතික ජනබලවේගයේ සභික ආසන 22ක් ද ඒකාබද්ධ පොදු විපක්ෂයට සභික ධුර 23ක්ද හිමිවූවා.
වැලිගම ප්‍රාදේශීය සබාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්වූවා.













