යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අවුරුදු 23ක් වයසැති තරුණයෙකුව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පැහැර ගැනීමට සම්බන්ධ තරුණයන් අට දෙනෙකු පසුගිය 25 වනදා රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගැනුණු බව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර රාජනායක මහතා පවසනවා.
පැහැර ගැනීමට ලක්වූ තරුණයා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එම තරුණයා යාපනය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී නෝර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචි දැනට විදේශ රැකියාවක නිරතව සිටින කාන්තාවකට ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි පණිවිඩ යැව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ එම කාන්තාවගේ සහෝදරයන් ඇතුළු අට දෙනෙකු යාපනය ප්‍රදේශයට ගොස් තරුණයාව රැගෙන ආ බවයි එම සැකකරුවන් විසින් නෝර්වුඩ් පොලිසියට පවසා ඇත්තේ.
මෙම තරුණයා පැහැර ගැනීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියෙන් නෝර්වුඩ් පෝලිසියට ලද දැනුම්දීමක් මත එම සැකකරුවන් ගමන්ගත් වාහනය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පහරකෑමට ලක්වූවා යැයි කියන තරුණයා දික්එය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වෑන් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නෝර්වුඩ් පොලස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.













