සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ  පනස්දහසක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊ – විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දිර්ඝ  කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇති බව සඳහන්.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් සහ ඊ – විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට මුල්වූ එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබු රිට් පෙත්සම ඊයේ යළි කැඳවා තිබුණා.

එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පවසා ඇත්තේ මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර දහතුන් දහස් අසුවක් පමණක් බවයි.

කෙසේ වෙතත් එය ප්‍රමාණවත් වන්නේ වැඩ කරන දින 13 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

එම ප්‍රමාණය අවසන් වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවන බවද පෙන්වා දී තිබෙනවා.

මේ අනුව අදාළ කරුණු සලකා බලා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වන පරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම පෙත්සම් ලබන නොවැම්බර් මස 06 වනදා යළි සලකා බැලීමට නියමිතයි.

WhatsApp Group

Skip to content