ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව ගොස් ඇත්තේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුවයි.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය සමග එක්දින තරගාවලියක් සහ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ පාකිස්තානය සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
එක්දින තරගාවලිය නොවැම්බර් මස 11, 13 සහ 15 යන දිනවලදී රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතයි.
තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට රාවල්පින්ඩි හා ලාහෝර් නගරවල පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
එලෙස පකිස්ථානය බලා යන එක්දින සංචිතය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුක්තව පහත ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.
චරිත් අසලංක(නායක), පැතුම් නිශ්ශංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීස් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසෙ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන් සහ එෂාන් මාලිංග ඇතුළත් වනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එක්දින සංචිතය සඳහා ඩිල්ෂාන් මධුසංක ඇතුළත් කර සිටියදී දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් සංචාරය නොකරන බවයි.
ඒ අනුව ඩිල්ෂාන් මධුසංක වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට එක්කර තිබෙනවා.
මේ අතර විස්සයි විස්ස සංචිතය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව පහත ක්‍රීඩකයින් 16 දෙනා නම් කර තිබෙනවා.
චරිත් අසලංක(නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක(උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග.
විස්සයි විස්ස සංචිතය සඳහා මතීෂ පතිරණ නම් කර තිබුණද මෑතකදී ඔහු ආබාධයකට ලක්ව තවමත් සුවය ලබමින් සිටින බැවින් සංචාරය නොකරන බවත් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.













