තම බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ඇයගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (20) ප්‍රකාශ කළා.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි සැකකාර ගායකයාට අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවා දායකයා වරද පිළිගෙන නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට කැමති බවයි.
සැකකරුගේ බිරිඳ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
වසර දහයක් පමණ සැකකරු සමඟ විවාහ වී සිටි බිරිඳ, ඔහුගේ නොමනා හැසිරීම් හේතුවෙන් මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමඟ දුරකථනයෙන් සබඳතා පවත්වා තිබෙන අතර පසුව ඔවුන් දෙදෙනා නැවත සමථයකට පත්වී යළි විවාහ දිවිය ආරම්භ කර තිබෙනවා.
ඉන් අනතුරුව, සැකකාර ගායකයා පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර ඇති අතර, එහි පණිවිඩ හුවමාරුවකදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක තිබෙන බව සඳහන් කළා.
සැකකරු එම ඡායාරූපය බිරිඳගේ නැගණියට වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ යොමු කිරීම සම්බන්ධයෙන් බිරිඳ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ වගන්ති යටතේ අසභ්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබුණා.
සැකකරු චෝදනාවලට වරද පිළිගැනීම ප්‍රකාශ කිරීමෙන් පසුව, මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියෝග කළා.
පැමිණිලිකාරිය අද දින අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණද සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවතත් දෙසැම්බර් 19 දින කැඳවීමට නියෝග කරනු ලැබුවා.












