නගර පිරිසිදු කිරීම ඇතුළු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.
රජය මිලදී ගන්නා වී තොග රැස්කර තැබීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පිරිසිදු කිරීම සිදුකෙරුණා.
ජාතික ජන බලවේගයේ කොට්ඨාස බල මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එය ආරම්භ කෙරුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.
කඳුරුවෙල නගරයේ පිහිටි වී ගබඩාව පිරිසිදු කෙරුණු අතර එහි එකවර වී මෙට්‍රික් ටොන් 65,000 ගබඩා කළ හැකියි.
ගුවන් හමුදාව සහ වී අලෙවි මණ්ඩලයේ සහාය ද මෙම වැඩසටහනට ලැබී තිබුණා.
මේ අතඑර කල්පිටිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ යටතේ වෙරළ තීරයේ කිලෝමීටර් 20ක් පමණ දුරට කැළි කසල ඉවත් කර පිරිසිදු කෙරුණා.
ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් 400ට වැඩි පිරිසක් ඊට එක්වුණා.
දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ශ්‍රමදාන සතිය අද (03) ආරම්භ කෙරුණා.
9වනදා දක්වා එය ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති අතර රාජකාරිවලට බාධා නොවන ලෙස එම ක්‍රියාකාරකම් සඳහා එක්විය හැකියි.
මාලඹේ පොදු බස් නැවතුම්පොලෙන් ශ්‍රමදාන සතිය ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්.
මේ අතර කැස්බෑව ඩිපෝව සහ පිළියන්දල බස් නැවතුම්පල පිරිසිදු කිරීම සිඳුකෙරුණා.
කැස්බෑව ඩිපෝවට අයත් බස් රථ පිරිසිදු කිරීම සිඳුකෙරුණේ මොරටුව මහ නගර සභාවේ ජල බවුසර් යොදා ගනිමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.