දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම ආසන්නයේදී මත්තල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු සඳහා යොදවා තිබූ බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අනතුරෙන් කාර් රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහා බිරිඳගේ මව බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව බිරිඳගේ මව මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් පමණ වූ ගලගම දකුණ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය කියා සිටියේ.
මෘතදේහය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කැබිතිගොල්ලෑව හොරොව්පතාන මාර්ගයේ හිජ්ජාපුර හන්දියේදී අනතුරක් සිදුව තිබෙනවා.
හොරොව්පතාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ රස්නකවැව, වලහවිද්දවැව ප්‍රදේශයේ පදිංචි කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය පවසන්නේ.
කැබිතිගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













