අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දකුණු පළාතේතත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
කළුතර සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.














