හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයවළුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(02) මෙම නියෝගය කර ඇත්තේ එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස ඔවුන් දෙදෙනාද නම් කර තිබීම හේතුවෙන්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය අද ප්‍රකාශයට පත් කර ඇත්තේ අල්ලස් කොමිසම මීට පෙර කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින්.
මෙරට සියලුම ගුවන් තොටුපළ වෙත අදාළ නියෝගය යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර සැකකරුවන් දිවයිනට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම්දෙන ලෙසටද ආගමන හා විගමන පාලකවරයාට වැඩිදුරටත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.














