හැටන් නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 289,000ක් වටිනා රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් එම රන් මාලය රැගෙන පලාගිය සැකකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(24) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්. රාම්මුරුති මහතාගේ වෙත අද(25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බගවන්තලාව කිව් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සිටි 42 හැවිරිදි තිදරු පියෙකි.
සැකකරු රන් මාලය මිලදී ගන්නා බව එම ස්වර්ණාභරණ වෙළඳ සැලේ සේවිකාවන්ට පවසා රන් මාලයේ වටිනාකම රැගෙන ඒමට බිරිඳ බැංකුවට ගිය බවත් ඇය එනතුරු මාලයට අදාළ බිල්පත ලබාදෙන ලෙසත් සැකකරු වෙලෙඳ සැලේ සේවිකාවන්ට දැනුම්දී රන් මාලය පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ එක්වරම සැකකරු රන් මාලය රැගෙන පලාගොස් තිබෙනවා.
සැකකරු සම්බ්නධයෙන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා වෙත ලද තොරතුරක් මත සැකකරු බගවන්තලාව කිව් වතුයායේ බිරිඳගේ නිවසේ සැඟව සිටියදී හැටන් පොලිසියේ මූළස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැටලීමක් කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රන් මාලය රැගෙන දුම්රිය මාර්ගය දිගේ හැටන් සිට වටවල දක්වා පා ගමනින් ගොස් රන් මාලය නාවලපිටිය පෞද්ගලික මූල්‍ය ආයතනයකට රුපියල් 169,000කට උකස් කර මුදල් ලබාගෙන එම මුදල කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන තම දරුවාට සහ මුදල්වලින් කොටසක් ණයකරුවන් වෙත ලබාදී සැකකරු සන්තකයේ රුපියල් 10000ක් මුදලක් පමණක් තිබී සොයා ගත් බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ.













