බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙක් මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ (26) දහවල් සිදු කරන ලද වැටලීමකදී මීගමුව කලපුවේ ධීවර යාත්‍රාවක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1050ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 57ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.
මේ අතර ඊයේ(26) සවස් කාලයේ පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 562ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන උඩයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
භුමිතෙල් ලීටර් 1995ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(26) දහවල් හිඟුරක්ගොඩ, යාය 07 ප්‍රදේශයේදී සිදු කරනු ලැබූ වැටලීමකදී බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 1995ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණු බවයි.
හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවස්නනේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














