නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් හතර දෙනෙක් නාවික හමුදාව විසින් මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ පසුගිය 04 වැනිදා මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධීව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් සිව්දෙනෙක් සමග මුහුදු කූඩැල්ලන් 437 දෙනෙක් ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගත් බවයි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 48ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය සමගින් ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.














