ව්‍යාපාරික ආයතනවල දෛනිකව එකතු වන මුදල් එකතු කරගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙකු, තවත් සගයින් දෙදෙනෙකු සමග එක් වී, පැහරගත් රුපියල් හාර කෝටි හැට නව ලක්ෂ නවසිය හතලිහක මුදලක්, පැය 24 ක් ගතවීමට මත්තෙන්, කටාන පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද(05) දින සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම මුදල් භාරකරු, සිය රියැදුරුවරයා සමග මෝටර් රථයකින්, කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාර ගැනීම සඳහා 03 දින රාත්‍රී 06.30 ට පැමිණ තිබෙනවා.
එහිදී කටියල පළතුරු කම්හලට හැරෙන හංදියේ දී තම මුදල් රැගත් මෝටර් රථය, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හරස් කර මුදල් රැගෙන පළා ගිය බව මුදල් භාරකරු පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
මේ පිළිබද වහා ක්‍රියාත්මක වූ පොලීසිය, මුදල් භාරකරු එසේ පැමිණෙන අතරතුර, අතරමගදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග කිසියම් කතාබහක නිරත වන ආකාරය, ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙය වූ කටාන පොලිසිය, මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථය, මුදල් භාරකරු ගමන් ගත් මෝටර් රථයේ රියදුරාගේ ඥාතී සොහොයුරෙකු බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව මුදල් භාරකරු, ඔහුගේ රියදුරු සහ ඔහුගේ ඥාති සොයුරු රියදුරුවරයාද අද(05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පැහැරගත් බවට සඳහන් කළ මුදල් කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොයුරාගේ නිවසෙහි සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ කටාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.