පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයන් පත්කිරීමේදී තමන්ට සිදු වූ අසාධාරණයක් හේතුවෙන් දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ තමන් යළි එම ධුරයේ කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අශෝක සේපාල මහතා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින් කඩිනමින් විසඳුම් ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සේපාල මහතා කියා සිටියේ.
ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
කොටගල සහ ආගරපතන ප්‍රාදේශීය සභා සඳහා ප්‍රසාද ලැයිස්තුවෙන් සභිකයන් දෙදෙනෙකු ලබාදෙන බවට පක්ෂ නායකයා සහ පක්ෂයේ මහලේකම්වරයා තමන්ට පොරොන්දු වී පසුව එම සභික ධුර දෙක දමිළ ප්‍රගතිශීලී සන්ධානයට ලබාදීමට පියවර ගෙන තිබූ නිසා තමන් නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉවත් බවට ඊයේ(25) පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කළ බවයි.
කෙසේ වෙතත් තමන්ගේ ලිපියට පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එම ප්‍රාදේශීය සභා දෙකට තමන් ඉදිරිපත් කළ නම් දෙක මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කර එහි පිටපතක් තමන් වෙත යොමු කර ඇති බවද අශෝක සේපාල මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියා.
තමන්ගේ ඉල්ලීම ඉටුවීම හේතුවෙන් තමා තවදුරටත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධුරයේ කටයුතු කරන බවයි අශෝක සේපාල මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.