රුපියල් 10,524,575.35ක් (එක්කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහයි සත තිස් පහ) වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි අයෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ රන් බිස්කට් තොගය තම දෙකකුළෙහි සඟවා ගෙන අද(14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළොන් පිටකරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මීගමුව කඳවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් පමණ වන අයෙක් බවත් ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙක් බවත් වාර්තා වනවා.
කැරට් 24 ගුණාත්මක අගයකින් යුත් රන් බිස්කට් 51ක් පමණ තම දෙකකුලෙහි විශේෂ වෙළුම් පටිවලි්න ඔතාගෙන යළි සිය මේස්වලින් වසාගෙන ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිටව යමින් සිටියදී අද(14) උදෑන 6.50ට පමණ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941 ක බරකින් යුක්ත බවයි ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ.
මේවා කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපොළෙන් පිට කරදීම සදහා භාරදෙන්නට ඇතැයි ද එසේම මොහු දිගු කළක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන යන්නට ඇතැයි ද රේගු නිලධාරීහු සැක පහළ කරනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.