කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා.
කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ යමින් සිටි මවක සහ ඇගේ 12 හැවිරිදි දියණියද වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර සිටිනවා.
මීට ටික කලකට උඩදී මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයෙකුට කොටහැර පොඩ්ඩා පහරදී තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වී සිටින අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බවද පොලිසිය පවසනවා.
හංවැල්ල ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා ආපසු නිවස බලා යමින් සිටි කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනා ගමන් ගත් ත්‍රීරෝද රථය ලුහුබැඳ යතුරු පැදියකින් පැමිණි පාතාල කුළි වෙඩික්කරුවන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ අවියක් යොදාගෙන වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ජුලි මස 06 වන දින අලුයම 2-10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය එල්ලවීමෙන් පසු ත්‍රීරෝද රථයෙන් පැනගත් කොටහැර පොඩ්ඩා අසල නිවසකට දිවගොස් එහි සැඟවී ජීවිතය බේරාගෙන තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් විසින් තුවාල ලබා සිටි කොටහැර පොඩ්ඩා, මව සහ ඇයගේ දියණිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පසු කොස්ගම සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
කොස්ගම, රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ, අවිස්සාවේල්ල පොලිසිවල නිලධාරීන් සහ පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ප්‍රදේශයේ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
උපුටා ගැනීම : දිවයින පුවත්පත