හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට රූස්ස මාර ගසක් කඩා වැටීමෙන් ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය පහකට පමණ පසු යථා තත්ත්වයට පත් කළ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
එම මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේ අද(06) උදෑසන 7ට පමණ පැවැති දැඩි සුළඟත් සමග ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මධ්‍යහ්න 12 දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු රූස්ස මාර ගස නෝර්වුඩ් පොලිසිය, නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, නෝර්වුඩ් ප්‍රදේශවාසීන් සහ වතුකම්කරුවන් එක්ව කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිල නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන ද්‍රව්‍ය රසායනාගාරය දක්වා මාර්ගයට ඉහළින් වසර 100කට වඩා පැරණි මාර සහ මැයි මාර ගස් කිහිපයක් මෙවැනිම ආකාරයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදී එවැනිම ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිනුණ බවත් ප්‍රදේශවාසීන් පවසනවා.
තවදඑ ම මාර්ගයේ දිවා රාත්‍රී දෙකේ රථ වාහන ගණනාවක් ධාවනය වන බවත් නෝර්වුඩ් නිව්වැලිවත්ත පාසලට ළමුන් ප්‍රධාන මාර්ගය දිගේ පයින් ගමන් කරන බවත් එබැවින් අවදානම් සහිත ගස් කඩිනමින් කපා ඉවත් කිරීමට වගකිවයුතු නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ වතු කම්කරුවන් කියා සිටියා.