ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු හයක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ඊයේ(13) සමත් වූවා.
ඒ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පස් වන තරගයේ ජයග්‍රහණය අත්පත් කර ගනිමින්.
බී කාණ්ඩයේ තරගයක් ලෙසින් තරගය පැවැත්වුණේ අබුඩාබිහිදියි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදුන්නා.
ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 139ක් ලබාගැනීමට සමත් වූවා.
බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 11ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වූවා.
බංග්ලාදේශය වෙනුවෙන් ශමිම් හොස්සෙයින් ලකුණු 42ක්ද ජාකර් අලි ලකුණු 41ක්ද නොදැවී ලබාගැනීමට සමත් වූවා.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිට්ටොන් දාස් ලකුණු 28කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වූවා.
පන්දු යැවීමේදී වනිදු හසරංග පන්දුවාර 4ක් යොමුකර ලකුණු 25කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.
එසේම නුවන් තුෂාර පන්දුවාර හතරකදී ලකුණු 17කට එක් කඩුල්ලක්ද දුශ්මන්ත චමීර පන්දුවාර හතරක් යොමු කර ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වූවා.
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනාම තම පන්දුවාර 4 තුළදී නිලකුණු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම කැපීපෙනෙන ලක්ෂණයක්.
ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තම ජයග්‍රාහී කඩඉම පන්දුවාර 14.4කදී පසු කිරීමට සමත් වූවා.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් බිඳ වැටී තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 50ක් ලබාගත්තේ පන්දු 34කදී එක් හයේ පහරක් සහ හතරේපහර හයක් සමගින්.
නොදැවී පන්දුවට පහර දුන් කමිල් මිෂාර පන්දු 32කදී හයේ පහර දෙකක් හතරේ පහර හතරක් සමග ලකුණු 46ක් ලබාගැනීමට සමත් වූවා.
එසේම නොදැවී පන්දුවට පහර දුන් නායක චරිත් අසලංක ලකුණු 10ක් ලබාගත්තා.
කුසල් පෙරේරා ලකුණු 9ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 3කටද දැවී ගියා.
දසුන් ශානක එක් ලකුණක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා .
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ මෙහෙදි හසන් කඩුලු දෙකක්ද මුස්ටෆිසර් රහ්මන් සහ ටන්සිම් හසන් ශකිබ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස නොදැවී ලකුණු 46ක් ලබාගත් කමිල් මිෂාර නම් කෙරුණා.
මේ අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව සිටිනවා.
පාකිස්ථානය දෙවන ස්ථානයේත් ඕමානය තෙවන ස්ථානයේත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිව්වන ස්ථානයේත් පසුවනවා.
එසේම බී කාණ්ඩයේ පළමු ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමි වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව සිටිනවා.
බංග්ලාදේශය තෙවැනි ස්ථානයේත් හොංකොං සිව්වන ස්ථානයට පත්ව සිටින්නේ සහභාගි වූ තරග දෙකෙන් තරග දෙකම පරාජයට පත්වීමෙන්.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය අද පස්වරුවේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ ඒ කාණ්ඩාය යටතේ තරග වදින ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතරයි.
මෙය වඩාත් උණුසුම් සහ අවධානය යොමු වන තරගයක් බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.