හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත්, ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාව සඳහා උපාය මාර්ග වෙනුවෙන් අදාළ තීරණවලට එළැඹ ඇති බවයි ජපානයේ නික්කෙයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ .
G7 කණ්ඩායම, සංවර්ධන වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට එකඟවී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිපාදක බහුපාර්ශවික වෙළෙඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බවයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ද හමු වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවති බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂිද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සහ ආර්ථික හා සංස්කෘතික ඇතුළු ක්ෂේත්රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳ එහිදී සාකච්ඡා සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සිංගප්පූරු සහ ජපාන සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පසුගිය 23 වනදා උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය අතර ජපාන සංචාරය ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේයි.