ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය ලෙස විද්‍යාඥයන් හඳුන්වන ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය, මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මීට වසර 10කට පෙර ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇති අතර මෙලෙස හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බවයි විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ.
මෙම ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා තිබෙන අතර එය කිලෝමීටර් 1,600 කට වැඩි දුරක් විහිදී ඇති බවත්, වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 5,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරන බවත් සඳහන්.
එමෙන්ම මෙය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පිරුණු කාන්තාරයක් නොවන අතර, ගල් සහිත භූමි ප්‍රදේශ, ලුණු විල්, වැලි සහ ගිනිකඳු ලාවා වලින් ද සමන්විත වනවා.