වසරේ අවසන් පොහොය දිනය ලෙස සලකනු ලබන උදුවප් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට සුවිශේෂි වන්නේ මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මෙරටට වැඩමවීම අද වැනි දිනක සිදුවීම හේතු කොටගෙනයි.
ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දිනක පිහිටවනු ලැබුවා.
එම අවස්ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදි වීමට අවසර ඉල්ලා තිබුණා.
එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කර පවසා ඇත්තේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.
තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම එයට වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ද වැඩමවාගෙන එන ලෙස රජතුමාට උපදෙස් දී තිබුණා.
ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුනක් පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.
එම ඉල්ලීම පිළිගත් ධර්මාශෝක රජු මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණිය, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට පිටත් කර එවනු ලැබුවා.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩමවීම බුදුරජාණන් වහන්සේගේ ද අධිෂ්ඨානයක් වූ බවයි බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත්තේ.
ඒ අනුව උදුවප් පුර පසලොස්වක පොහෝ දිනක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩමවනු ලැබුවා.
එමෙන්ම බෞද්ධයින්ට ඉතා වැදගත් වූ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද වැනි උදුවප් පුර පසලොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක් වනවා.










