Author: Anura Premakumara
අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දු වීම් වැළැක්වීම සදහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බවයි. එය දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට සිදුවන ජලකාන්දුව වැළැක්වීමට ස්ථිර පිළියමක් ලෙස විශේෂඥයින් යෝජනා ඉදිරිපත් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සදහන් කළා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් විස වීමෙන් මිය ගිය චමෝදි සංදීපනි නමැති 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේදී පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන සිදු කරන බවයි. කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබා දුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඔහු සදහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැක හැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. අද පස්වරු 6 ට ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 18 වන දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම 19 වන දා දූෂණ විරෝධි පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ලබන 20 වන දා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඉන් පසුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව තිබෙනවා. 21 වන සිකුරාදා දින බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට ද එකඟත්වය පළ වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
කැනියුලාවකින් සිදු වූ විස බීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගීයෙකු මිය යාමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ. මෙම පුද්ගලයා සති 2 කට පමණ පෙර උණ රෝගය වැළදී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදි සවි කළ කැනියුලාව ආසාදනය වීමෙන් විස බීජ ශරීරගත වී ඇති බව සදහන්. ඉන් අනතුරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු වීම හේතුවෙන් වෙනත් රෝහලකට මාරු කර යැවීමට නොහැකි වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මෙලෙස මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සදහන්.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 113ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 312ක් රැස්කරගෙන සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යව 150ක්. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 162ක් ඉදිරියෙන් පසුවනවා.
රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ඩිජිඉකෝන් 2030 වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරමින් මෙම ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළා.
අයි.සී.සී තරගාවලි වෙනුවෙන් ඉදිරියේ දී කාන්තා හා පිරිමි අංශ සදහා සමාන මට්ටමෙන් ත්‍යාග මුදල් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලි, 20යි 20 ලෝක කුසලාන තරගාවලි මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි සදහා ඉදිරියේ දී කාන්තා හා පිරිමි කණ්ඩායම්වලට සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඩෙංගු මර්දන සහායකයින් වහා ස්ථීර කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන සහායකයින් පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී නිහඬව විරෝධතා උපවාසයක නිරතවනවා. සිව්වන දිනටයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. ඩෙංගු මැඩපැවැත්වීමට බඳවා ගන්නා ලද තමුන්ගේ පත්වීම වසර හතක පමණ කාලයක සිට ස්ථිර නොකරන ලද ආණ්ඩුව මර්දනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඩෙංගු සහායකයින් මෙහිදී සදහන් කළේ. තවදුරටත් මීට විසඳුමක් පිළිතුරක් තමන්ට නොලැබුණහොත් තම දරු පවුල් සමඟම ද මෙම විරෝධතා උපවාසයට එක්වන බව විරෝධතාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222