හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළා.
ඒ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ දේශපාලන පක්ෂ කාර්යාලයක් අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් අට ලක්ෂ අසූ පන්දහසක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කල බවට වූ චෝදනාවකට අදාලවයි.
සැකකරුට ඇප ලබාදීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කලේ.
සැකකාරුට නින්දේදී එක් පැයකට තිස්පස් වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස ගෙන ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු අද ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කලේ පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන සැකකරු මාසයක් බන්ධනාගාරගතව සිටි බවත් රෝගය එතරම් බරපතල නම් ඔහු මේ වන විට මිය ගොස් සිටිය යුතු බවයි .
එයින් ඔහුට බරපතල රෝගයක් පවතින බවට අල්ලස් කොමිසම විශ්වාස නොකරන බවත් ප්‍රකාශ කළා .
ඒ හේතුවෙන් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිත දේශන ගොනු කරනකරන ලෙසට දන්වා සිටියා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දහ දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.